යුතුකම් ඉටු කරමු


                     ගෝලීයකරණය වූ ලෝකයේ නව මාධ්‍ය පුද්ගලයාට නොමැතිවම බැරි සාධකයක් බවට පත් වී හමාරය. ෆේස් බුක්, වට්ස්ඇප්, වයිබර්, මැසෙන්ජර් යන නව මාධ්‍ය තුළ සිරගත වී හුදකලා ජීවිත ගෙවන්නන් සමාජයේ සුලභ වෙති. අතැතිව පවතින ස්මාර්ට් ජංගම දුරකතනය තම ජීවිතය කර ගත්තවුන් තමා වටා ඇති සබඳතා අතහැර දමා ඇඟිලි තුඩෙහි දුර ඇති නව මිතුරන් හා සමීප වෙති. සමාජ ජාලා මාධ්‍යයට නිරාවරණය වන පුද්ගලයා තම පවුල තුළ ඇති දෙමාපිය දූ දරු, අඹු සැම් සබඳතාවන්ගෙන් ඈත් වෙයි. අනෙකා වෙනුවෙන් තමන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් පැහර හැර ඇත. සමාජයෙන් ලැබෙන ගැරහුමට බියෙන් පවුල් සංස්ථාව තුළ යෙහෙන් වැජබෙන බව පෙන්නුම් කරයි. පවුල් සංස්ථාව තුළ සැමියා බිරිඳ අතර නොයෙකුත් ගැටළු මතු වෙයි. අනියම් සබඳතා ප්‍රමුඛ වන අතර සැමියා බිරිඳ අතර ඇති ආදරය, විශ්වාසය, සුහදතාවය බිදී යයි. පවුල් සංස්ථාවේ පරිහානිය මිස දියුණුවක් සිදු නොවේ. ලබන ධනය අනවශ්‍ය දෑ සදහා වියදම් කර පවුල් සංස්ථාවේ ආර්ථිකයද බිද වැටෙයි. අඩදබර ඇති දෙමාපියන් නිසාවෙන් දරුවන් ඔවුන්ගේ ලෝකය තුළ හුදකලා වෙයි. දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත වෙයි. දෙමාපියන් දරුවන් පිළිබඳව සොයා බැලීම පැහැර හැරීමේදී දරුවන් මිටින් හළ කුරුල්ලකු මෙන් ඔවුන්ට අවැසි පරිදි සැරිසරයි. ඔවුන් ඔවුන්ට අවැසි දෑ කිරීමට පෙළබෙයි. දරුවන් කුඩා කාලයේදීම ප්‍රේම සබඳතාවන් අරඹයි. ඇතැම් අවස්ථාවල එම සබදතාවය ලිංගික සබඳතාවක් බවට ද පත් වෙයි. මෙසේ අනාරක්ෂිත වන දරුවන් සියදිවි නසාගැනීම්, මානසික රෝගීන්, පාතාල නායකයන්, ගණිකාවන්, මංකොල්ලකරුවන් ආදී අපරාධකරුවන් මෙන්ම රෝගීන් බවට පත් වේ. සමාජය බැදීම් සමුදායක එකතුවක් බව සැබෑය. නමුත් සියලු සබඳතා පැවත්විය යුත්තේ සීමිත රාමුවක සිටගෙනය. බුදුන් දවස දෙසූ සිඟාලෝවාද සූත්‍රයේ එන යුතුකම් හා වගකීම් නිසියාකාරව ඉටු කිරීම පවුල සංස්ථාවක මෙන්ම පුද්ගල ජීවිතයේ පැවත්මට අනිවාර්ය වේ. එයින් පවුල් සංස්ථාවේ දියුණුව ඇති වේ. අහස උසට ගොඩ නැගෙන මහළු නිවාස, මහ මග හුදකලා වන වැඩිහිටියනගේ ප්‍රමාණය සීමා වේ. අකාලයේ සිදු වන ජීවිත බිළි ගැනීම් සීමා වේ. නව මාධ්‍ය තම ජීවිතය බවට පත් නොකර කළ යුතු වගකීම් නිසියාකාරව ඉටු කරන්නේ නම් මෙතරම් දරුණු ව්‍යසන සිදු නොවෙයි.


ගිනිගත යෞවනය


ගිනිගත්  යෞවනය


                   මදකට හැරී බලන්න යෞවන සමය පුද්ගලයකුගේ ජීවිතයේ සොදුරුතම අවධිය නොවන්නේද? යෞවනය සමය සැහැල්ලුවෙන් සතුටින් විනෝදයෙන් ගත කළ යුත්තක් විනා ජීවිතය විදිනු මිස විදවන්නක් බවට පත්කරගත යුතු වන්නේ නැත. වර්තමාන තාරුණ්‍යය දෙස බැලූ කළ ඔවුන් කෙතරම් අවිචාරවත් ලෙස තාරුණ්‍යය විනාශ කර ගන්නවාද යන්නට ඕනෑතරම් සාධක තිබේ. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවන තරුණයන් තම ජීවිතය විනාශ කොට ගනී. පවතින සෝචනීය තත්වය නම් පාසල් සිසිහු පවා මත් රකුසාට බිලිවීමයි.  මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පොළවේ පය ගසා ජීවත් වෙනු වෙනුවට ඔවුන්ගේ සිතින් මවාගත් සිහින ලෝකයන්හි ජීවත් වෙයි. මත්වූවන් නිසාවෙන් සමාජය තුළ මාර්ග අනතුරු, සොරුන්, මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයන් වැනි සමාජය පිළිකුල් කරන පුද්ගලයන්ගේ වර්ධනයක් ඇත. " මත්ද්‍රව්‍ය භාවිතය හා දුම්බීම ඔබේ ශරීරයට අහිතකරය" යන දැන්වීම පවා නොතැකීම සෝචනීය තත්වයකි. මත්ද්‍රව්‍ය භාවිතා කරන තාරුණ්‍යය සාමාජීය, දේශපාලනික, ආර්ථික, අධ්‍යාපනික යන සෑම අංශයකින්ම පිරිහීමට ලක් වේ. වර්තමාන තාරුණ්‍යය මත් රකුසාට බිළි වී හමාරය. ජීවිතයේ නිශ්චිත අරමුණු, බලාපොරොත්තු රහිත තරුණයන් ගතලන ඩෙනිම, ටී ෂර්ට් එක, පයලන සෙරෙප්පු දෙකින්, අතැතිව ඇති නවීන ජංගම දුරකතනයෙන් හා දල්වාගත් සිගැරැට්ටුවෙන් සමාජය ඉදිරියේ තම ප්‍රතිරූපය ප්‍රදර්ශනය කිරීමට යෑම හාස්‍යයට කරුනක් නොවන්නේද? තරුණයන් තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට  වර්ණ ගනවන ලද හිසකෙස් හා කොටන ලද පච්චයන් ප්‍රදර්ශනය කිරීම ඔවුන්ගේ ජීවිතයේ ඇති හිස් බව කියාපාන්නා වූ කැඩපතක් වැනිය. ලැබූ ජීවිතය විදිය යුතු බව සැබෑය . නමුදු ජීවිතය විදිය යුත්තේ ජීවිතයට අහිතකර දෑ ලංකොටගෙන නොවේ. තාරුණ්‍යය සිහියේ තබා ගත යුත්තේ තරුණ අවධිය යෞවන සමය  ජීවිතයට එනු ලබන එක් අවධියක් වන බවත් එහිදී කරණු ලබන දෑ මත තම ජීවිත කාලයම තීරණය වන බව නොවේද?



කහවණු සොයා

කහවණු සොයා


                  ජීවත්වීම අරගලයක් බව හොදින්ම හදුනන්නේ සුඛෝපබෝගී යානවාහන  හිමි සුර සැප ඇති මාළිගාවල ජීවත් වන්නන් නොවේ. එදා වේල සරිකර ගැනීමට නොහැකිව අව්ව වැස්ස නොබලා මහපොළව සමග සටන් වදින්නන් ය. ජීවිතය දරාගත නොහැකි ප්‍රශ්න වලින් බැට කන විට අම්මාවරු නොදන්නා රටක කහවණු සොයා යයි. කහවනු සොයා සිහින මාළිගා ගොඩනගාගෙන තම ස්වාමියා දරුවන් නිවසේ තනිකර පිට රටකට පා තබනුයේ එහි කටුක බව කෘර බව නොදැන නොවේ. දරාගත නොහැකි ආර්ථික ප්‍රශ්න වලට විසදුම් එහි ඇති බව සිතමිනි. පිටරැට්‍ යන්ගේ දෙපා අබියස බැලමෙහෙවර කිරීමට අම්මාවරුන්ට සිදුවෙයි. සියලු බැලමෙහෙවර කළද ස්වාමි පුත්‍රයාගේ පහරදීම් බැණවැදීම් හමුවේ ඉවසා සිටීමටද සිදුවෙයි . පසුගිය කාලය තුළ විදේශගත වූ කාන්තාවන්ට නොයෙකුත් වධහිංසා පමුණුවා ඇති ආකාරය ජනමාධ්‍ය තුළින් දැකගත හැකිය. තම පවුලේ සතුට වෙනුවෙන් දුරු රටක නොයෙකුත් වදවේදනා  ඉවසා සිටින මව්වරු තම පවුලේ සතුට වෙනුවෙන් ඒ සියල්ල ඉවසනු ඇත. නමුදු දුරු රටකට ගිය බිරිඳ අමතක කොට වෙනත් බිරියන් කරා යන, මත් රකුසාට බිළි වී තම බිරිඳ ගේ මුදල් විනාශ කරන පුරුෂයන් ඕනෑ තරම් දැකගත හැකිය. නිවසේ හුදකලා වන දියණිවරු පුතුන් තම ජීවිතය කෙලෙසා ගනු ලබයි. රස්තියදුකාරයකු, බේබද්දකු පුතුන්ද තම ජීවිතය අදුරු කර ගන්නා දියණියන්ද දුරු රටක දුක් විදින මව්වරුන්ගේ අපේක්ෂා බිද දමයි.තම පවුල වෙනුවෙන් දුරු රටක සෙවූ කහවණු රැගෙන එන විට පවුල විනාශ වී ඇත්නම් පිටරැටියන්ට බැල මෙහෙවර කොට තනාගන්නට තැනූ සිහින මාළිගා බිද වැටෙනු ඇත.



ෆේස් බුක් හා ජීවිතය

ෆේස් බුක් හා ජීවිතය

ගෝලීයකරණය වූ ලෝකයේ නව මාධ්‍ය ජනතාව අතර සුලබ වූ අවධියක තරුණ වැඩිහිටි ජනතාවට අත්‍යවශ්‍ය අංගයක් බවට ෆේස් බුක් පත්ව තිබේ. පාසල් යන වයසේ දරු දැරියන්, තරුණ තරුණියන්  හා වැඩිහිටියන් ෆේස් බුක්හි සැරිසරමින් රටේ දියුණුව පිණිස යෙදවියයුතු කාලය හා ශ්‍රමය වැය කරයි. සමාජ ජීවියකු වන පුද්ගලයා වටා බැදී පවතින සියලු සමාජ බැදීම් පසෙකලා ෆේස් බුක්හි හමුවන මිතුරු සමාජයට යොමුවීම වර්තමානයේ දැකිය හැකි භයානක තත්වයකි. දරුවන්ගේ ජීවිතය එළිය කළ යුතු දෙමව්පියන් මුහුණුපොතෙහි සැරිසරමින් ජීවිතය සෙවීමට යත්න දරයි. එවිට දරුවන්ගේ ජීවිතය ආරක්ෂිත වන්නේද යන්න දෙමව්පියන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි. අතැතිව ඇති සියලු වගකීම් ෆේස් බුක් නිසාවෙන් අතහැර දමන්නට දෙමව්පියන්ට අවස්ථාව නොමැත. මුහුණු පොත හරහා හමුවන මිතුරන් අභියස තම ආදරණීයයන් අමතක කොට ප්‍රේමය පුද කරන ප්‍රේමවන්තයන් ප්‍රේමවන්තියන් දුලබ නොවේ.  ප්‍රේම කතාව රග පාන්නා වූවන් නොඉදුල් තරුණයකු තරුණියක වීම ලැජ්ජා සහගතය. ප්‍රේම කතාව ලිංගික සබඳතාවක් දක්වා දීර්ඝ වීම අප රටේ මිනිසුන්ගේ නොදැන්වත්කමද නැතහොත් අනුවණකමද යන වග විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.
"වැටත් නියරත් ගොයම් කානම් - කාට පවසම් මේ අමාරුව"
වැඩිහිටි ජීවිතවලට වන බලපෑමට වඩා බලපෑමක් තරුණ ජීවිත වලට සිදුවෙයි. ඇතැම් අවස්ථාවල මුහුණු පොතේ හමුවන තරුණ ආදර කතාවල අවසානය තරුණ ජීවිත බිළිදීමක් විය හැකිය. ජීවිතය වූ කලී මල් යහනාවක් නොව බාධක, හැලහැප්පීම්, ගැටළු මැදින් ගලා යන්නකි. තමාවටා හමුවන මිතුරු සමාජයේ පිහිට පැතීම අනුවණකමක් පමණක් නොව තමා විසින් තමාට වල කපාගැනීමක් නොවන්නේද?



ජීවිතය

ජීවිතය


                           ජීවිතය කාන්තාර ක්ෂේම භූමී පසු කරමින් යන්නා වූ දුෂ්කර චාරිකාවක් බව කවුරුත් දන්නා වූ තිත්ත සත්‍යයි. ජීවන චාරිකාව අතර මග හමුවන ප්‍රශ්න, ගැටලු , බාධා  ජීවිතය අවබෝධ කර ගැනීමට ලැබෙන අවස්ථාවකි. ඕනෑම ප්‍රශ්නයකට විසදුමක් ඇත. නමුදු බොහෝ දෙනා ප්‍රශ්න වලට විසදුම් සොයනු වෙනුවට ප්‍රශ්නයෙන් පලා යයි. ජිවිතයට පැමිණෙන ප්‍රශ්න යනු ජීවිතය යනු කුමක් දැයි කියාපාන්නා වූ කැඩපතකි. බුදුන් දවස තම පුතු මළ සොවින් තැවෙන කිසාගෝතමියට නොමළ ගෙයකින් අඹ ඇට මිටක් ගෙන ඒමට උපදෙස් දුන් සේක. බුදුන්ගේ උපදෙස් අනුව ක්‍රියා කළ කිසාගෝතමියට නොමළ කෙනෙකුන් නොමැති ගෙයක් නොමැති බව තේරුම් ගෙන ලොව පවතින සත්‍ය වටහා ගත්තාය. ජීවිතය යනු අවබෝධය වටහා ගැනීම තුළින් ප්‍රශ්න වලට විසදුම් සොයන්නක් නොවේද? ඕනෑම මොහොතක ඕනෑම පුද්ගලයකුට ඕනෑම අවස්ථාවක ප්‍රශ්න ගැටළු ඇතිවිය හැක. කළ යුත්තේ ප්‍රශ්න ගැටළු හමුවේ තම අරමුණු අපේක්ෂා බලාපොරොත්තු සිඳ ගැනීම නොව ඒවාට ශක්තිමත් ලෙස මුහුණ දීමයි. ගලන්නා වූ ගඟ ලස්සන වනුයේ බාධක මැදින් ගලනා විටයි. ජීවිතයද එසේමය. බාධක , ගැටළු ප්‍රශ්න වලට විසදුම් සොයමින්   යා යුත්තකි. ඕනෑම පුද්ගලයකුට තම ප්‍රශ්න ගැටළු විසදා ගැනීමට හැකියාවක් මෙන්ම ඒවාට මුහුණ දීමේ ශක්තියක් අනිවාර්යෙන්ම තිබිය යුතුය. ප්‍රශ්න අභියෝග හමුවේ සිත ශක්තිමත් නොවුන්හොත් එය මානසික රෝගයක් බවට පත් වේ. තේරුම් ගතයුතු සත්‍ය මෙයයි. බාධක කම්කටොළු ජීවිතයට අවැසිය. ජීවිතය අර්ථවත් එකක් බවට පත් වනුයේ ප්‍රශ්න ගැටළු වලට විසදුම්  සෙවීමට යාමෙන්‍ ය. ජීවිතය මැනවින් තේරුම් ගතයුත්තකි. යථාර්තය අවබෝධ කොටගෙන ජීවත් වීමට යාමේදී ඇතිවීමට ඉඩකඩ ඇති ප්‍රශ්න ගැටළු සීමා වේ.


                        යුතුකම් ඉටු කරමු                       ගෝලීයකරණය වූ ලෝකයේ නව මාධ්‍ය පුද්ගලයාට නොමැතිවම බැරි සාධකයක් බවට පත් වී...